කුමන ආගමක වුවද සිද්ධස්ථාන ආරක්ෂා විය යුතුයි !

කුමන ආගමක වුවද සිද්ධස්ථාන ආරක්ෂා
විය යුතුයි !
 
 

 

අෂ්ෂෙයික් එස්.එම්.එම්.ෆලීල් (නලීමි)
B.A., M.A., M.Phil. (පේරාදෙණිය)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ජාමිආ නලීමිආ ඉස්ලාමීය උසස් අධ්‍යාපන
ආයතනය,
බේරුවල.
 

 

 මෑත කාලයක සිට ලංකාවේ ජන
කොටස් අතර සංහිඳියාව බිඳ වැටීම හා ඇතැම් ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් දෙවියන්ට
නිගරු කිරීම්,

ආගමික සිද්ධස්ථාන වලට පහර දීම් හා ආගමික වත් පිළිවෙත්වලට සිදුකරන බාධා
කිරීම් සාමාන්‍ය සිදුවීම් බවට පත් වී ඇත. මෙය අතිශය කණගාටුදායක කරුණකි. විවිධ
ජාතීන්ගෙන් සමන්විත වූ රටක අති උසස් අන්දමින් ආරක්ෂා විය යුතු ආගමික වත් පිළිවෙත්
නිදහසේ ඉටු කිරීමට අකුල් හෙලන ක‍්‍රියාදාමයන් නැගී එමින් පවතින බව පෙනෙන්නට තිබේ.
මේවා මිනිස් සිත් වල ඇති වන දෘඩත්වය හා උද්වේගයේ ප‍්‍රකාශන බවට කිසිදු සැකයක් නැත. 

 

 
දළදා මැදුරට සහ තවත් බෞද්ධ
සිද්ධස්ථාන වලට පහර දීම,

බුද්ධගයාවට බෝම්බ ගැසීම,
ක‍්‍රිස්තියානි පල්ලි වලට පහර දීම වගේම මුස්ලිම් දේවස්ථාන වලට පහර දීම්, මේ
සියල්ලම අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
මේවා කුමන පාර්ශවයන් විසින් කුමක් අරභයා කළද ඒවා මහා අපරාධයක් ම වන්නේය.
 
 
01). ඉස්ලාමිය දෘෂ්ටිය
ඉස්ලාම් ධර්මයට අනුව කිසිදු
ආගමකට අයත් ආගමික සිද්ධස්ථානයකට  හානි
කිරීම නොකළ යුතුය. 
 
අල්කුර්ආනයේ 22 පරිච්ජේදයේ 40 වන වාක්‍යයේ යුද්ධයේ එක් අරමුණක්
ලෙස ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීම පිළිබඳව පවසා ඇත. එම ආගමික සිද්ධස්ථාන වලට හානි
පමුණුවන්නේ නම් එය නවතා දැමීමට මුස්ලිම් හමුදාවම ඉදිරිපත් වනු ඇත යන්න එම වැකිය
මගින් අවධාරණය කෙරේ.
 
            “සටන්
කරනු ලැබූ අයට අයුක්තියක් සිදු කරන ලද හෙයින් ඔවුනට (එරෙහි වී සටන් කිරීමට) අවසර
දෙන ලදී. අල්ලාහ් ඔවුනට උදව් කිරීමට තරම් බලසම්පන්නයෙකි. ඔවුහු කවරෙකුද යන්න
, අපගේ රබ් (පරමාධිපති) අල්ලාහ්
යැයි ඔවුන් කී නිසා අසාධාරණ ලෙස තම නිවෙස් වලින් පන්නා දමන ලද අය වෙති. ජනයාගෙන්
එක් කොටසක් මගින් අනෙක් කොටස අල්ලාහ් නොවැළැක්වූයේ නම් ක‍්‍රිස්තියානි ආරාම
(Monasteries),ක‍්‍රිස්තියානි දේවස්ථාන(Churches),
යුදෙව් භක්තිකයන්ගේ සම්මුතිය (Synagogues), සහ අල්ලාහ්ගේ නාමය බොහෝ සෙයින් සිහිපත් කරනු ලබන
මස්ජිද් (මුස්ලිම් දේවස්ථාන) සුණු
විසුණු කරනු ලබන්නට ඉඩ කඩ තිබිණි. ඔහුට (අල්ලාහ්ට) උදව් කරන අයට අල්ලාහ් නියත
වශයෙන්ම උදව් කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් ශක්ති සම්පන්නය, සර්ව බලධාරීය.”[1]
 
මෙම වැකියෙහි ආශ්චර්යය නම්
වටිනා අදහස් කීපයක්ම ඉදිරිපත් කිරීමයි. ආචාර්ය මුස්තෆා සිබායි නමැති විද්වතාණන් ‘ජිහාද්
යන්නෙහි අරමුණ අන්‍ය ආගමික දේවස්ථානයේ නටබුන් මත මස්ජිදයන් ඉදිකිරීම නොව ඊට
පටහැනිව එම දේවස්ථාන අසල මස්ජිද් ස්ථාපිත කිරීම’
යනුවෙන් පවසයි.[2]
 
සෙයිද් කුතුබ් නමැති
විද්වතාණන් මෙම වැකිය ගැන පැහැදිලි කිරීමේදී ‘ඉහත වැකියේදී අල්ලාහ්ගේ නාමය සිහිපත්
කරන මස්ජිද් වලට සමාන වන අනෙකුත් ලබ්ධිකයන්ගේ ආගමික සිද්ධස්ථාන ද ආරක්ෂා කළ යුතුය
යන්න අවධාරණය කරයි.  මස්ජිද් ගැන සඳහන්
කිරිමට මත්තෙන් අන්‍ය ආගමික සිද්ධස්ථාන ගැන සඳහන් කිරීමත් ඒවාට එරෙහිවන
බලහත්කාරකම් වැළැක්විය යුතු යැයිද අවධාරණය කර ඇත. ඇත්ත වශයෙන්ම මෙය සියලු දෙනාගේ
ආගමික අයිතිවාසිකම් තහවුරු කරන ආරාධනාවකි. ඉස්ලාමය පිළිපදින අයට පමණක් ආගමික නිදහස
සීමා නොකර තමන් සමග විරුද්ධ වන පාර්ශවයන් හටද එය තහවුරු කර ඇත. තවද මෙම අයිතිය
සැමට ලබා දීමට සටන් කරන ලෙසත් මුස්ලිම්වරුන්ට නියෝග කරන්නේය.  මේ කාරණා සඳහා යුද්ධ කිරිමටද අනුමත කරනු
ලබන්නේය. මෙමගින් ඉස්ලාමය ජාත්‍යන්තර නිදහස් සම්මුතියක් බව අවධාරණය කෙරේ’
යනුවෙන් සෙයිද් කුතුබ්
තවදුරටත් විස්තර කර ඇත.[3]
 
            පෙර කාලයේදී මුස්ලිම්වරුන්
අනෙකුත් රටවල් ජයගත් අවස්ථාවන් වලදී එහි වැසියන්ගේ අයිතීන් වලට සම්පූර්ණ සහතිකයක්
ලබා දී තිබුණි. ඒ සඳහා  ඕනෑතරම් සාධකද ඇත. 
 
            කලීෆා – ඉස්ලාමිය රාජ්‍ය නායකයෙකු
– වූ උමර්(රළි) තුමාගේ පාලන කාලයේදී
(ක්රි: 634-644) ජෙරුසලම අත්පත් කර ගත්
අවස්ථාවේදී එහි ජීවත් වූ ක‍්‍රිස්තියානි භක්තිකයන්ට ලබා දුන් සහතිකයේ මෙලෙස සඳහන්
වේ.
 
            “මෙය විශ්වාසවන්තයන්ගේ නායක
උමර් තුමා විසින් රටවැසියන්ට ලබා දෙන ලද ආරක්ෂාව වන්නේය. ඔවුන්ටද ඔවුන්ගේ දේපල
වලටද ඔවුන්ගේ දේවස්ථාන වලටද එහි කුරුස වලටද ඔවුන්ගේ ආගමේ තිබෙන්නා වූ වෙනත් දේවල්
වලටද එතුමා විසින් ආරක්ෂාව ලබා දී ඇත. ඔවුන්ගේ දේපල වල පදීංචි වීමේ අයිතිය අන්
කිසිවෙකුටවත් නැත. ඒවාට හානි කිරීමේ අයිතියද නැත. ඒවාට අයත් ඉඩකඩම් වල තිබුණු
කුරුස හෝ වෙනත් දේපල අඩු නොකළ යුතුය. ඔවුන්ගේ ආගමෙන් පිටවන ලෙස ඔවුන්ව බල කිරීමකට
ලක් නොකළ යුතුය.”
[4]
 
මුස්ලිම්වරුන් අලුතෙන් ජය ගෙන
පාලනය පිහිට වූ ඊජිප්තුව,

ලිබියාව ඇතුළු අප‍්‍රිකානු රටවල් හෝ ඉන්දියාව, ස්පාඤ්ඤය,
ඇෆ්ගනිස්ථානය,
ඉන්දුනීසියාව වැනි රටවල් හෝ වේවා අදටත් මුස්ලිම් නොවන පිරිස් එම රටවල ජිවත්
වන අතර ඔවුන්ගේ ආගමික සිද්ධස්ථාන ආරක්ෂිතව පවතිනවා පමණක් නොව ඒවායෙහි ආගමික කටයුතු
නොකඩවා සිදු කිරීම ඉස්ලාමයේ සහජිවනය පිළිබඳ වු
(Religious Tolerance) සාධකයන්ය.
 
          ඉස්ලාමිය අධිරාජ්‍යයේ අලුතින්
දේවාලයන් කිහිපයක්ම ඉදි කෙරිණි. තෝමස් ආර්නොල්ඩ් තමාගේ
The
Preaching of Islam
යන කෘතියෙහි මෙයට සාක්ෂි කිහිපයක්ම ලබා දෙන්නේය.
උදාහරණ වශයෙන්:-
 
“(ඉස්ලාමිය ලොවේ) නව දේවාලයන්
ඉදි කරනු ලැබුවාට උදාහරණයන් කිහිපයක්ම ක්‍රිස්තියානි හා මුස්ලිම් ඉතිහාසඥයන්
සනිටුහන් කර තබා ඇත. අබ්දුල්  මලික්(ක්‍රි.ව
685-705)ගේ කාලයේ එඩේස්සා නමැති ප්‍රදේශයට
අයත් ඇතනාසියස් යන ධනේශ්වර ක්‍රිස්තියානි වරයෙක් තමාගේ නගරයේ ‘දෙවියාගේ මවට’ ලස්සන
දේවාලයක් ඉදි කළේය‍. අව්කාර් රජතුමාට යවන ලද ජේසුස් තුමාගේ පින්තූරයට ගෞරව කිරීම
වස් එක් ඥාන ස්ථානයක්
(Baptistery) ද නිර්මාණය කරන ලදී. එම පුද්ගලයාම ඊජිප්තුවේ ප්‍රදේශයන්
කිහිපයකම දේවස්ථාන හා මඩම් ද ගොඩනැගුවේය. ඒවායේ පුස්තාස් හි පිහිටි ආශ්චර්යවත්
දේවාලයන් දෙකක් සඳහන් කළ හැකිය”
[5]
 
එහෙත් ඇතැම් මුස්ලිම්
පාලකයින් හෝ සේනාධිපතිවරුන් හෝ පුද්ගලයින් හෝ අන්‍ය ආගමික සිද්ධස්ථාන වලට හානි
සිදු  කිරීම හේතු කොට ගෙන ඉස්ලාමය පිළිබඳව
වැරදි ඇඟයීමට ලක් කිරීම සුදුසු නොවේ.
ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම විනාශ කිරීම එවැනි වූ සිදුවීමකි. එහිදී
සිදු වූයේ හින්දු භක්තිකයන් වූ කොටි සංවිධානය විසින් දළදා මාළිගාවට පහර දුන්
ආකාරයේ සිදුවීමක් බව අප තේරුම් ගත යුතුය. දළදා මාළිගාවට පහර දීම හින්දු ආගම දිරි
ගැන්වූ බවට එයින් අපට කිව නොහැකිය. එහිදී ඉස්ලාමයට ද වූයේ එවැනිම වූ දෙයකි.
 
තිස් අවුරුද්දක් තිස්සේ ඇදුනු
යුද්ධයේදීද උතුරු නැගෙනහිර පළාත් වල පන්සල්,
කෝවිල් හා පල්ලි
බොහොමයකට හානි සිදු වූ බව අපි දනිමු. ඒවා හමුදාව අතින් සිදු වුවද කොටි
සංවිධානය  අතින් සිදු වුවද එය ලෝකය පිළිගත්
යුධ සාරධර්ම වලට පටහැනි බව අප පිළිගත යුතුය.
මුස්ලිම් පල්ලි වලට කොටින් විසින් පහර දුන්නා පමණක් නොව එහි නැමදුම් වල
නිරතව සිටි නිරායුධ සිවිල් වැසියන් සිය ගණනක් මරා දමන ලදී. කොටි ත‍්‍රස්තයන්ගේ මෙම
ම්ලේච්ඡ ක‍්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.
 
මුස්ලිම්වරුන්ගේ ආගමික හා
සංස්කෘතික ඉතිහාසයට සාක්ෂියක් වශයෙන් තිබෙන මස්ජිදයන් (දේවස්ථාන) විනාශ කිරීම තම
ජිවිතය විනාශ කිරීමකට වඩා භයානක වූ දෙයක් බව ඔවුන් විශ්වාස කරති.  මියන්මාරය හෝ වෙනත්  ඕනෑම රටක හෝ
සිදු වන මෙවැනි පහරදී ම් පිළිබඳ වූ වාර්තා මුස්ලිම්වරුන්ගේ හදවත් වේදනාවෙන්
කැකෑරෙන කාරණාවන්ය.
 
අනුරාධපුර නගරයේ මුස්ලිම්
සිද්ධස්ථානයකට පහර දීමත් සමගම මෑත කාලීන සිදුවීම් ආරම්භ විය. දර්ගා නගරය,
තෙලියාගොන්න, නිකවැරටිය, දඹුල්ල, අනුරාධපුරය, කොළඹ, බලංගොඩ, මහියංගනය සහ ගිංතොට
වැනි බොහෝ ස්ථාන වල පිහිටි මුස්ලිම් දේවස්ථානවලට සැලසුම් සහගත කණ්ඩායම්
විසින්  පහරදීම් සිදු කර ඇත.  මේ රටේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථාන දිගින්
දිගටම පහරදීම් වලට ලක් වන අතර ඇතැම් නැමදුම් ස්ථාන වලට ඌරුමස් වල කොටස් පවා දමමින්
අපිරිසිදු  කිරීම වැනි දේවල් ආගමික ද්වේෂයේ
උච්චතම අවස්ථාව ලෙස සඳහන් කිරීම නිවැරදිය.
 
 
02.ඉස්ලාමීය සමාජයේ දේවස්ථාන වල කාර්යභාරය
 
            මුස්ලිම් ජන ජිවිතය තුළ
මස්ජිදයට ඇත්තේ වෙන් කළ නොහැකි සහ සම්බන්ධතාවයකි. දිනපතාම පස් වේලක් දේවස්ථානයකදී සලාතය
නම් නැමදුම සාමුහිකව ඉටු කිරීම මුස්ලිම්වරුන් හට අනිවාර්ය කරන ලද්දකි. මස්ජිදයන්හි
සලාත් නැමදුම් ඉටු කිරීම නිවසේ ඉටු කිරීමට වඩා
27 ගුණයකින් වැඩි පින් ප‍්‍රමාණයක් ලැබෙන බව මුහම්මද්
නබි(සල්)තුමාණන් විසින් පවසා ඇත.[6]
 
ඒ අනුව ඉස්ලාමයේ වගකීම් වල
කේන්ද්‍රස්ථානයක් ලෙස මස්ජිදය සැලකේ. මුස්ලිම්
වරුන් ජීවත් වන ස්ථාන වල මස්ජිදයක් පිහිටුවා ගන්නේ එම නිසාවෙනි.  එම හේතුව මිස වෙනත් කිසිදු හේතුවක් හෝ කාරණාවක් හෝ
එහි නොමැත්තේය. එහිදී සිදුවන්නේ
මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනයට අවශ්‍ය ක‍්‍රියාකාරකම්ය. අන්තවාදියෙකු වුවද මස්ජිදය තුළ සන්සුන් සිතකින් යුතුව ක‍්‍රියා කරන
ආකාරය දැකිය හැකිය.
 
·
පාපයන්ගෙන් මුදවා ගැනීම  සහ දෙවියන් සිහිකිරීම 
 
මස්ජිද් වල ප‍්‍රධාන අරමුණ
වන්නේ අයහපත් ගති පැවතුම් ඇත්තන් ව යහ ගුණාංග කරා යොමු කිරීමය.  “(නබිතුමනි,) වහී (අල්ලාහ් විසින් යවන
ලද පණිවිඩය) මගින් ඔබට දැනුම් දෙන ලද(මෙම) ධර්මය ඔබ සමුදීරණය කර,සලාතය නොකඩවා ඉටු
කරමින් සිටිනු. මන්දයත් නියත වශයෙන්ම සලාතය(නැමදුම) අවමන් ගෙන දෙන කාරණාවන්ගෙන්ද පාපයන්ගෙන්ද
 (මිනිසාව) ඈත් කරන්නේය.අල්ලාහ්ව (අමතක
නොකර) මතකයේ තබා (ඔහුව සිහිපත් කර) සිටීම,නියත වශයෙන්ම ඉමහත්ය.තවද ඔබ කරන දැය
අල්ලාහ් හොඳින් දන්නේය.”
[7]
 
මස්ජිදය තුළ කථාබහ කෙලෙස
සිදු  විය යුතුද යන්න පවසන විට:
“(මස්ජිද් නොහොත්) නිවෙස් තුළ
ඔහුගේ නාමය උස් හඬින් පවසනු ලබන්නටත් එහි මෙනෙහි කරනු ලබන්නටත් අල්ලාහ් අවසර
දුන්නේය. එහිදී උදේ සවස මිනිසුන් ඔහු ව සුවිශුද්ධ කරති.
 
අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද
සලාතය විධිමත් ව ඉටු කිරීමෙන් ද සකාත් පිරිනැමීමෙන් ද(තම) ව්‍යාපාරය හෝ ගනු දෙනුව
හෝ ඔවුන් වෙනතකට යොමු නොකළ මිනිසුන්ය (උදේ සවස සුවිශුද්ධ කරනුයේ). එහි හදවත් හා
දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති.
 
එය ඔවුන් සිදු කළ වඩාත්
අලංකාර දෑ සඳහා අල්ලාහ්ගේ ප්‍රතිඵල පිරිනැමීම පිණිසත් ඔහුගේ භාග්‍යය තුළින් ඔවුනට
අධික කරනු පිණිසත්ය. තවද අල්ලාහ් අභිමත කරන අයව ගණනයකින් තොරව පෝෂණය කරති.”[8]
 
ඒ අනුව ඉහත සඳහන් වචන දෙස බලන
විට නැමදීම් සහ දෙවියන් සිහි කිරීම දේවස්ථාන වල සිදුවන්නේය. එහි විධිමත් ලෙස නිසි
අයුරින් සලාත් ඉටු කරන්නන්ගේ සිත් තුළ ලෞකික ආශාවන් බොහෝදුරට පාලනය කර ගැනීමේ
හැකියාවන් ඇති වේ. ඔවුන් මරණින් මතුව
එළඹෙන දීනයේදී විමුක්තිය ලබා ගැනීම උදෙසා පමණක් සිතනවා විනා ඇතැමුන් විසින් පවසන
ආකාරයට ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් වල යෙදිය යුතු යැයි ඔවුන් සිතන්නේ නැත. එලෙස
ඔවුන් සිතන්නේ නම් ඔවුන්ට ඔවුන්ගේ දෙවියන් විසින් ලබා දෙනවා යැයි කියන ශුද්ධ වූ
අල්කුර්ආනයේ
38 වන වාක්‍යයේ සඳහන් පොරොන්දුව
පරිදි ඉතා අලංකාර වූ කුලිය කෙසේ නම් ලබා ගත හැකිද?
 
 
·
දුප්පත්කම මැඩලීම
මස්ජිද් වලදී සිදු වන තවත්
කටයුත්තක් වන්නේ  දුගී දුප්පතුන්ගේ දුක
නිවාලන සකාතය නමැති දිළිඳු බද්ද සාමූහිකව බෙදා දීමේ කටයුත්ත සංවිධානය
කිරීමයි.  එහි ඵලයක් වශයෙන් අල්කුර්ආනය
ඔවුන් පිළිබඳව මෙලෙස පවසන්නේය. 
 
“(නබිතුමනි! ඔවුන් තමන්ගේ
වැරදිවලට වන්දි වශයෙන් ගෙනැවිත් ඇති) ඔවුන්ගේ වස්තූන් දානමාන වශයෙන් ඔබ ලබා ගෙන (අභ්‍යන්තරව
හා බාහිරව) ඔවුන්ව පරිශුද්ධ කර තබා, එමගින් ඔවුන්ව පාරිශුද්ධ කර (භාග්‍ය වන්තයින්
බවට පත් කිරීමට) ඔවුන්ට ආශිර්වාද කරනු මැනව! ඔබගේ ආශිර්වාදය නියත වශයෙන්ම ඔවුන්ට
සැනසීමක් වනු ඇත. අල්ලාහ් මැනවින් සවන් දෙන්නාය තවද සර්වඥානියාය.”
[9]
 
එම නිසා දේවස්ථානයක් තුළ සිදු
කෙරෙන වත් පිළිවෙත් හා ක‍්‍රියාකාරකම් ජනයින්ව පාප ක‍්‍රියා වලින් සහ මානව විරෝධී
ක‍්‍රියා වලින් ඈත් කරති. එමගින් සිතේ සැනසීම හා සන්සුන් බව ඇති කරන්නේය.  උඩගුකම හා ලෝබ කම වැනි මානසික රෝග වලින් ආත්මය
ආරක්ෂා කරන්නේය. මුස්ලිම්වරුන් තමන් පදිංචි වී සිටින ස්ථාන වල මස්ජිදයන් ඉදි
කරන්නේ මේ නිසාය.
 
එනයින් බලන කල මස්ජිදයන් යනු ත්‍රස්තවාදය
සඳහා වූ බංකර් ලෙස ඇතැමුන් පවසා තිබීම ඔවුන් තුළ ඉස්ලාමය පිළිබඳව තිබෙන වැරදි
අවබෝධය නිසාම ඇති වූ ප‍්‍රකාශයක් ලෙස ඉඳුරාම කිව හැකිය.
 
 
03.  ඉවත් කළ යුත්තේ දේවස්ථානද? 
 
ප‍්‍රශංසනීය අත්‍යවශ්‍ය
මෙහෙවරක් ඉටු කරන මස්ජිද් වැනි දේවස්ථාන ඉදි කිරීම දිරිගැන් විය යුතු වනවා මිස ඒවා
කඩා බිඳ දැමීම මහත් වූ අපරාධයකි. ඉවත් කළ යුතු දේවල් වන්නේ මිනිසා වරද කරා ගෙන යන
තැබෑරුම්,

සූදු පොලවල්,
ගණිකා මඩම් වැනි දෑය. මිනිස් ඝාතනයන් උනන්දු කරවන බොහෝ මානසික හා ශාරීරීක
රෝග වලට හේතු වන පවුල් සංස්ථාවන් කඩා කප්පල් කරන සමාජ විරෝධී ආයතනයන් ආරක්ෂා
කරමින් සමාජය යහ මග කරා ගෙන යනු ලබන දේවස්ථාන ඉවත් කිරීම කිසිසේත්ම සාධාරණයක්
වන්නේ නැත. එය මහත් වූ අපරාධයකි.
 
එම නිසා මිනිස් වර්ගයාගේ ආධ්‍යාත්මය
හා යහ ගුණාංග වර්ධනය කරන මස්ජිද් (දේවස්ථාන)වලට එරෙහිව සිදු කරන පහරදීම් හෙලා
දැකිය යුතුය.  මෙවැනි අධම ක‍්‍රියා වල නිරත
වන්නේ කිසිම ආගමක් අදහන හෝ  නිසි ලෙස එය තේරුම්
ගත් අය නොවෙති. ඔවුන්ගේ ඉලක්කය යහපත් වූ එකක් විය නොහැකිය. ආත්මාර්ථකාමීත්වයෙන්
වියරු වැටී ආගමික පාර්ශව අතර ගැටුම් ඇති කර තමන්ගේ පහත් අරමුණු ඉටු කර ගැනීමට
වෑයම් කරන මෙවැනි තත්ත්වයන් අප තේරුම් ගත යුතුය. රටේ සංහිඳියාව හා සාමයේ පැවැත්මට
සියලු ආගමිකයන්ගේ ආගමික නිදහස ආරක්ෂා විය යුතුය.
 
ඉස්ලාමීය දෘෂ්ටි කෝණයට අනුව
මිනිසාගේ මූලික අයිතීන් වන්නේ ආගමික නිදහස, ජීවත් වීමේ අයිතිය,
දේපල ආරක්ෂාව, පරම්පරාවෙහි
පිවිතුරු බව සහ බුද්ධිය යන කරුණු පහ වේ.[10]
ඒවා ආරක්ෂා කරමින් තහවුරු කළ යුතු බවට ඉස්ලාමීය නීතියෙහි සඳහන් වන්නේය. මෙය ‘ළරූරිය්යාත්’
යනුවෙන් හැඳින්වේ. එනයින් බලන
කල ශිෂ්ට සම්පන්න වූත්,

මිනිස් අගයන් ගරු කරන්නා වූත්,
ඕනෑම සමාජයක මේ දේවල් ආරක්ෂා කර ගැනීමට විනා, විනාශ කිරීමට නොපොලඹවනු ඇත.  ඉස්ලාමීය ධර්මයට අනුව කිසිදු ආගමකට අයත් ආගමික විශ්වාසයන්ට සහ සංස්කෘතික අනන්‍යතාවයන් ට
හානි කිරීම නොකළ යුතුය.
 

 

04. සිද්ධස්ථාන
කැඩීම බලහත්කාර ක්‍රියාවකි
 
ඉස්ලාමය හැර අන් සියලුම ආගමික
විශ්වාසයන් වැරදි බව මුස්ලිම් වරයෙකු විශ්වාස කළද තමාගේ ආගම අන් කෙනෙකුට බලෙන්
කාවැද්දීමට හෝ ඒ වෙනුවෙන් කිසිවෙකුට සෘජුව හෝ වක‍්‍රව බල කිරීමට හෝ අයිතියක්
නොමැත. ආගමික ප‍්‍රචාරය බලහත්කාරයෙන් සිදු කිරීම ඉස්ලාමය තුළ අනුමත නොකරන්නේය. “ආගමේ
බල කිරීමක් නැත.”
[11]
 
“අල්ලාහ් හැර ඔවුහු අයැදින
දෑට නුඹලා බැණ නොවදිනු. එවිට කිසිදු දැනුමකින් තොර ව සීමාව ඉක්මවා යමින් ඔවුහු
අල්ලාහ්ටද බැණ වඳිනු ඇත. සෑම ප්‍රජාවකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාරවත් කළේ
එලෙසය. පසු ව ඔවුන් නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. එවිට
ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වා සිටී”.[12]
 
            “නුඹේ
පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතු ව හා යහපත් උපදෙස් මගින් නුඹ ඇරයුම් කරනු.
තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමග නුඹ තර්ක කරනු.”
[13] යනුවෙන් අල්කුර්ආනය මගින්
අල්ලාහ් අවධාරණය කරන ආකාරයෙන්, ප‍්‍රචාරය සඳහා වූ ක‍්‍රියා මාර්ගය ප‍්‍රියමනාප වචන
වලින් එහාට ගොස් ඉතාමත් අලංකාරව, යහගුණාංග වලින් සමන්විත විය යුතු බව පැහැදිළිය. ඉන්
ප‍්‍රියමනාප පිළිවෙළ යන්නෙන් හඟවන්නේ  සාධක
ඇතුව කථා කිරීම,

අන් අයට නිසි ගෞරවය දැක්වීම හා නිසි ගරුත්වයෙන් යුතුව කථා කිරීම වැනි
කරුණුය.
 
ෆිර්අවුන් නම් කෲර පාලකයෙකු
වෙත යන මූසා සහ හාරූන් යන නබිවරුන් දෙදෙනාට අල්ලාහ් මෙලෙස නියෝග කළහ.
 
“ඔබ දෙදෙනාම ෆිර්අවුන් වෙත යනු.
නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත. එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග
කතා කරනු. ඔහු උපදෙස් ලබන්නට හෝ බියවන්නට හෝ පුළුවන.”
[14]
 
ඉහත සඳහන් පරිදි ඉතා විනීතව
හා අලංකාරව තම ප‍්‍රකාශය ඉදිරිපත් කළ පසුවද ඔවුන් ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන්
වෙත බලහත්කාරය මුදා නොහැර ඔවුන්ගේ ක‍්‍රියා කලාපය ගැන ඉවසිල්ලෙන් හා සහජීවනයෙන්
යුතුව කටයුතු කිරිමට ඉස්ලාමය අවධාරණය කරන්නේය. මෙයට අල්කුර්ආනයේ තිබෙන බොහෝ වැකි
උදාහරණ වශයෙන් දැක්විය හැකිය.
 
මුහම්මද් නබි(සල්) තුමාණෝ
මක්කා පුරවරයේ සිට මදීනා පුරවරයට නික්ම යාමෙන් පසුව එහිදි ක‍්‍රිස්තියානින්,
යුදෙව්වන් හා තවත් ආගමිකයින්
ආරක්ෂා කළ යුත්තන් යන අර්ථයෙන්  ‘දිම්මි’
 යනුවෙන් හඳුන්වනු ලැබීය.  මදීනා පුරවරයේදී ඔවුන්ගේ සියලූ අයිතිවාසිකම්
තහවුරු කරන ලදී. තමන්ගේ ආගමික විශ්වාසයන්
සමගම ඔවුන්ට කාලය ගෙවීමට අවස්ථාව සලසා දෙන ලදී.
 
 
05. හිරිහැර වැළැක්විය යුතුයි
 
          එක් එක් ආගම් පිළිපදින්නන්
තමන්ගේ ආගමික ක‍්‍රියාකාරකම් නිසා සෙසු ආගමිකයන් හට හිරිහැර කරදර ඇති නොකිරීමට වග
බලා ගත යුතුය.
 
මස්ජිදයක් ඉදි කිරීමට මත්තෙන්
එම ස්ථානයට එවැනි මස්ජිදයක් අවශ්‍ය දැයි තීරණය කර ගත යුතුය. (අදාන්)-සලාතය ඉටු
කිරීම සඳහා මස්ජිදයට කැඳවීම- දේශනා සඳහාද
පිරිත් සජ්ජායනය කිරීමටද ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම සහ නිවෙස්
ඉදිරි පස  වාහන නවතා තැබීම වැනි දේවල්
වලින් සිදුවන බාධා පිළිබඳවද අප සැලකිළිමත් විය යුතුය.
 
සමාජයේ ඇති වී තිබෙන
දුර්මතයන් ඉවත් කර සහජිවන වාතාවරණයක් ස්ථාපිත කිරීම කාලෝචිත ක්‍රියාවකි. මේ සඳහා
ආගමික නායකයන් අතර නිරන්තර සාකච්ඡා පැවැත්වීම වැදගත්ය. බලයේ සිටින්නන් මේ පිළිබඳව
තමන්ගේ වගකීම නිසි ආකාරයෙන් ඉටු කිරීමට වග බලාගත යුතුය.අවස්ථානෝචිතව ක‍්‍රියා
නොකිරීමෙන් අර්බුදකාරී තත්ත්වයන් මතුවිය හැකිය.
 
විවිධ වර්ණ වලින් යුත් මල්
වලින් අලංකාර වූ උයනක් මෙන් විවිධ වූ ජාතීන්ගෙන් සමන්විත අපේ රට සංවර්ධන මාවතේ
ඉදිරියට ගෙන යාමට අපි සියලූ දෙනාගේම දායකත්වය ලබා ‍දිය යුතුය.


 

[1].
අල්කුර්ආන් 22:39,40
[2]. සිබාඊ, මුස්තෆා, හාදා හුවල් ඉස්ලාම්, නිලාමුස්සිල්මි වල්හර්බි ෆිල් ඉස්ලාම්. පිටු : 25
[3].  සෙයිද් කුතූබ්,  නහ්ව
මුජ්තමඉන් ඉස්ලාමිය්යින්,
පිටු  : 104,
105.
[4]‍. ඉබුනු හිෂාම්, සීරතුන් නබි, 4/181 
[5]. Arnold, The Preaching of Islam
p
p.66,67
[6].
සහීහුල් බුහාරි,
පාඩම: අදාන් 627, සහීහ් මුස්ලිම්, පාඩම:
කිතාබුල් මසාජිද්
1073
[7].
අල්කුර්ආන් 29:45
[8]. අල්කුර්ආන් 24:3638 
[9]. අල්කුර්ආන් 9:103
[10]. ෂාතිබී, අල්මුවාෆකාත් 1/38
[11]. අල්කුර්ආන් 2:286
[12]. අල්කුර්ආන් 6:108
[13]. අල්කුර්ආන් 16:125
[14]. අල්කුර්ආන් 20:44

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top