ආගමික සිද්ධස්ථානවලට එරෙහි පහරදීම් දැඩි ලෙස හෙලා දැකිය යුතුයි

අෂ්ෂෙයික් එස්. එම්. එම්. ෆලීල් (නලීමි)

මෑත කාලයක සිට ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර සංහිඳියාව බිදවැටීම හා ගැටීම් හේතුවෙන් ආගමික ස්ථානවලට එරෙහිව සිදුකරන පහරදීම් හා ආගමික වත්පිළිවෙත් වලට කරන බාධක සාමාන්‍ය සිදුවීම් බවට පත්වෙමින් පවතී. මෙය කනගාටු දායක කරුණකි. විවිධ ජාතින්ගෙන් සමන්විත රටක අති උසස් අන්දමින් ආරක්ෂා විය යුතු ආගමික වත්පිළිවෙත් ඉටුකිරීමේ නිදහසට අකුල් හෙලන ක්‍රියාදාමයන් පවතී. මේවා මිනිස් සිත් සතන්වල ඇති දෘඩත්වයේ හා උද්වේගයේ ප්‍රකාශන බවට සැකයක් නොමැත.

ඉස්ලාමයේ දෘෂ්යිය

මිනිසාගේ මූලික අයිතීන් වන ජීවත්වීම, දේපල තබා ගැනීම, ගෞරවය ආරක්ෂා කරගැනිම, ශරිරය ආරක්ෂා කරගැනීම, ආගමික නිදහස, දැනුම යන කරුණු හය ලබාදී ඒවා ආරක්ෂා කිරීම තහවුරු කළ යුතු බවට ඉස්ලාමීය ෂරිආවේ සඳහන් වේ. මෙය ‘මසාලිහ්’ වශයෙන් හැඳින්වේ. ඒ නයින් ශිෂ්ඨ සම්පන්නවූත් මිනිස් අගයන් ගරුකරන්නාවූත් ඕනෑම සමාජයක මේවා ආරක්ෂා කිරීමට විනා විනාශ කිරීමට නොපෙළඹෙනු ඇත.

ඉස්ලාමයට අනුව කිසිම ආගමික කොටස්වලට අයත් ආගමික විශ්වාස, සිද්ධස්ථාන, වත්පිළිවෙත්, සංකෘතික හා අනන්‍යතාවයට හානි පමුණුවීම නොකළ යුතුය. තම ආගම වෙනෙකෙකුට බලෙන් කාවැද්දීමට හෝ ඒ වෙනුවෙන් කිසිවෙකුට සෘජුව හෝ වක්‍රව බලකිරීමට හෝ මුස්ලිම්වරයෙකුට අයිතියක් නොමැත. ආගමේ බල කිරීමක් නැත.

‘’(විශ්වාසවන්තයින්) අල්ලාහ් හැර ඔවුන් කන්නලව් කරන (අන්) අයට නුඔලා පරිභව නොකරන්න. මන්ද (නුඔලා එසේ කලානම්) ඔව්හු අවඥාවන්ත ද්වේශ සහගතව අල්ලාහ්ට පරිභව කරති.’’ (අල්- කුර්ආන් 6- 108)

ආගමික ප්‍රචාරය බලහත්කාරයෙන් කිරීම ඉස්ලාමය අනුමත නොකරයි. ‘ඔවුන් සමග ඉතා විනීතව සාකච්ඡා කරනු’ (අල්- කුර්ආන් 16 25) යනුවෙන් කුර්ආනය මගින් අල්ලාහ් අවධාරණය කරන ආකාරයෙන් ප්‍රචාරය සඳහා වූ ක්‍රියාමර්ගය ප්‍රියමනාප යන්නට ඔබ්බට ගොස් ඉතා ප්‍රියමනාප හොඳ අලංකාර යන ගුණාංග වලින් සමන්විත විය යුතු බව පැහැදිලිය.

ඉතා ප්‍රියමනාප පිළිවෙල යන්නේහි සාධක ඇතුව කථාකිරීම අන්‍යයන් හට නිසි ගෞරවය දී ගරුත්වයෙන් කථා කිරීම වැනි කරුණු වැදගත් කොට සැලකේ.

ඉතා විනීත හා අලංකාරව තම ප්‍රචාරය ඉදිරිපත් කළ පසුත් ඔවුන් ප්‍රතික්‍ෂ්ප කලද ඔවුන් වෙත බලහත්කාරය මුදා නොහැර ඔවුන්ගේ ක්‍රියාකලාපය ඉවසිල්ලෙන් යුතුව සහජීවනයෙන් කටයුතු කිරීමට ඉස්ලාමය අවධාරණය කරයි. මෙයට අල්- කුර්ආනයේ බොහෝ වැකි උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

මුහම්මද් නබි නායක තුමා මක්කාපුරවරයේ සිට මදීනා පුරවරයට නික්ම යාමෙන් පසු එහිදී කතෝලිකයින් යුදෙව්වන් හා තවත් ආගමිකයින් ආරක්ෂා කල යුත්තන් යන අර්ථයෙන් ‘දිම්මි’වශයෙන් හඳුන්වන ලදී. මදීනා පුරවරයේ ඔවුන්ගේ සියලු අයිතීන් තහවුරු කරන ලදී. තමන්ගේ ආගමික විශ්වාසයෙන්ම ඔවුන් පසුවීමට අවස්ථාව සලස්වන ලදී.

අල්- කුර්ආනයේ 22 පරිච්ඡේදයේ 40වන වාක්‍යයේ යුද්ධයේ එක් අරමුණක් වන්නේ අන්‍ය ආගමික සිද්ධස්ථාන ආරක්ෂා කිරීම බව පවසා ඇත. එම ආගමික මධ්‍යස්ථානවලට ගොස් කිසිවකු යාමෙන් හානි පමුණුවන්නේ නම්, එය අත්හිටුවීමට මුස්ලිම් හමුදාව ඉදිරිපත් වනු ඇත. යන්න එම වැකිය මගින් අවධාරණය කර ඇත.

‘’ඔවුහු කවරෙකු නම් අපගේ රබ් (පරමාධිපති) අල්ලාහ් යයි ඔවුන්කී නිසා අසාධාරණ ලෙස තම නිවෙස්වලින් පන්නා දමන ලද අය වෙති. ජනයාගෙන් එක් කොටසක් මගින් අනෙක් කොටස අල්ලාහ් නොවැලක්වුයේ නම් ක්‍රිස්තියානි ආරාමයන් දේවස්ථාන යුදෙව් පල්ලි සහ එහි අල්ලාහ්ගේ නාමය බොහෝ සෙයින් සිහිපත් කරනු ලබන මස්ජිද් (දේව ස්ථාන) සුනුවිසිනු කරනු ලැබන්නට තිබුණි. ඔහු (අල්ලාහ්ට) උදව් කරන අයට අල්ලාහ් නියතවශයෙන්ම උදව් කරයි. නියතවශයෙන්ම අල්ලාහ් ශක්ති සම්පන්නය සර්ව බලධාරියාය’’ (අල්- කුර්ආන් 22- 40)

මෙම වැකිය ආශ්චර්යමත් අදහස් ඉදිරිපත් කරයි. සෙයිද් කුතුබ් මෙම වැකිය පැහිදිලි කිරීමේදී ඉහත වැකියේදී අල්ලාහ්ගේ නාමය ස්ත්‍රොත්‍රකරන මස්ජිද් වලට සමානව අනෙකුත් ලබ්දිකයින්ගේ ආගමික ස්ථානද ආරක්ෂා කලයුතු යන්න අවධාරණය කරයි. මස්ජිද් ගැන සඳහන් කිරීමට මත්තේන් අන්ආගමික ස්ථාන ගැන සඳහන් කිරීමත් එවාට එරෙහි බලහත්කාරකම් වැලක්වීම අවධාරයකර ඇත. ඇත්තවශයෙන්ම මෙය සැමගේ ආගමික අයිතිවාසිකම් තහවුරු කරන අරාධනාවකි. ඉස්ලාමය පිළිපදින අයට පමණක් ආගමික නිදහස සීමා නොකර තමන් සමග විරුද්ධවන පාර්ශවයන්ගේද එය තහවුරු කරයි. තවද මෙම අයිතිය සැමට ලබාදීමට සටන්කරන ලෙසත් මුස්ලිම්වරුන්ට නියෝග කරයි. මේ කාරණය සඳහා යුද්ධ කිරීමත් අනුමත කරයි. මෙමගින් ඉස්ලාමය ජාත්‍යන්තර නිදහස් සම්මුතියක් බව අවධාරණය කරයි. යනුවෙන් සෙයිද් කුතුබ් විස්තර කරයි.

මුස්ලිම්වරුන් පිටස්තර රටවල් ජයගත් අවස්ථාවලදී එහි වැසියන්ගේ අයිතීන්ට සම්පූර්ණ සහතිකය ලබාදී ඇත. ඒ සඳහා ඕනෑ තරම් සාධක ඇත්තේය.

කලීෆා උමර් ඉබ්නු හත්තාබ් තුමාගේ පාලන කාලයේ ජෙරූසලම අත්පත් කරගත් අවස්ථාවලදී එහි ජිවත්වූ ක්‍රිස්තියානි භක්තිකයින්ට ලබා දුන් සහතිකය පහත සඳහන්ය.

‘’මෙය ඊලියා වැසියන්ට විශ්වාසවන්තින්ගේ නායක උමර් ලබාදෙන ආරක්ෂාවයි. ඔවුන්ටත් ඔවුන්ගේ දේපලවලටත් ඔවුන්ගේ දෙවස්ථානවලටත් එහි කුරුසවලටත් ඔවුන්ගේ ආගමේ තිබෙන වෙනත් දේවලටත් ඔහු ආරක්ෂාව තහවුරු කරයි. ඔවුන්ගේ දේපලවල පදිංචි විමේ අයිතිය අන් කිසිවෙකුටත් නොමැත. ඒවාට හානි කිරීමේ අයිතියද නොමැත. ඒවාට අයත් ඉඩකඩම් කුරුස හෝ වෙනත් දේපල අඩුකල නොහැක. ඔවුන්ගේ ආගමෙන් පිටවෙන ලෙස ඔවුන් බල කිරීමට ලක් නොකරනු ඇත. (ඉබ්නුහිෂාම් – සිරතුන් නබි (4- 181)

මුස්ලිම්වරුන් අළුතෙන් ජයගෙන පාලනය පිහිටවූ ඊජිප්තුව ලිබියාව ඇතුළු ආප්‍රිකානු රටවල් වේවා ඉන්දියාව ස්පාඥය අෆ්ගනිස්ථානය ඉන්දුනිසියාව වැනි ආසියානු රටවල් වේවා එවායේ අදටත් මුස්ලිම් නොවන පිරිස් ජිවත් වන අතර ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන ආරක්ෂිතව පවතිනවා පමණක් නොව එහි ආගමික කටයුතු නොකඩවා සිදුකිරීම ඉස්ලාමයේ (Religious Tolerance) සහනශීලිභාවයට සාධක වේ.

එහෙත් ඇතම් මුස්ලිම් පාලකයින් සේනාධිපතිවරුන් හෝ පුද්ගලයින් අන්‍යආගමික ස්ථානවලට හානිසිදුකිරීම හේතුකොට ගෙන ඉස්ලාමය ඇගයීමට ලක් කිරීම සුදුසු නොවේ. ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදුපිළිමය විනාශ කිරීම එවැනි සිද්ධියකි. ඒ සිදුවූයේ හින්දු භක්තිකයින්වු කොටි සංවිධානය දළදා මාලිගාවට පහරදුන් ආකාරයට බව අප තේරුම් ගත යුතුය. දළදා මාලිගාවට පහරදීමට හින්දු ආගම දිරිගැන්වූ බව කිව හැකි වන්නේ නැත. ඉස්ලාමයට ද එය ඒ ආකාරයට අදාල වේ.

පිලිකුලෙන් හෙළා දකිමු

දළදා මැදුරට සහ තවත් බෞද්ධ සිද්ධස්ථාන වලට එරෙහි පහරදීම බුද්ධගයාවට බොම්බ ගැසීම ක්‍රිස්තියන් පල්ලිවලට එරෙහි පහරදීම වගේම මුස්ලිම් පල්ලිවලට කළ පහරදීම් සියල්ල අපි පිලිකුලෙන් හෙළා දකිමු. මේවා කුමණ පාර්ශවයන් විසින් කුමක් අරභයා කලත් ඒවා මහා අපරාදයන් වේ. තිස් අවුරුද්ධක් තිස්සේ ඇදුනු යුද්ධයේදීද උතුරු නැගෙනහිර පළාත් වල පල්ලි පන්සල් හා කොවිල් බොහෝමයකට හානි සිදු වූ බව අපි දනිමු. ඒවා හමුදා අතින් සිදුවූවත් කොටින් අතින් සිදුවූවත් ලෝකය පිළිගත් යුධ සාරධර්ම වලට පටහැනි බව අපි පිළිගත යුතුය.

මුස්ලිම් පල්ලිවලට කොටින් පහර දුන්නා පමණක් නොව එහි නැමදුම් වල නිරතව සිටි නිරායුධ සිවිල් වැසියන් සිය ගණනින් මරා දමන ලදී. කොටි ත්‍රස්ත්‍රයන්ගේ මෙම මිලේච්ඡ ක්‍රියා කොහේත්ම අනුමත කළ නොහැක.

එම නිසා සිද්ධස්ථාන තුල සිදුකෙරෙන වත්පිළිවෙත් හා ක්‍රියාකාරකම් ජනයින් පාප ක්‍රියාවන්නේ හා මානව විරෝධි ක්‍රියාවලින් ඈත් කරයි. සිතේ සැනසීම සන්සුන් බව ඇති කරයි. උඩඟුකම, ලෝභකම වැනි මානසික රෝග වලින් ආත්මය ආරක්ෂා කරයි.

ඉවත් කල යුත්තේ දේවස්ථානද?

ප්‍රසංසනීය මෙහෙවරක් ඉටුකරන දේවස්ථාන නිර්මාණ කිරීම දිරිගැන්විය යුතු මිස ඒවා කඩා දැමීම අපරාධයකි. ඉවත්කලයුතු දේවල් වන්නේ මිනිසා වරදට ගෙන යන තැබෑරුම් සූදූපොලවල් හා ගණිකා මඩම්ය. මිනිස්ඝාතන උනන්දු කරන බොහෝ මානසික හා ශාරීරික රෝගවලට හේතුවන පවුල් සංස්ථාව කඩා කප්පල් කරන සමාජ විරෝධි ආයතන ආරක්ෂා කරමින් සමාජය යහමගට ගෙනයන දේවස්ථාන ඉවත්කිරීම කොහෙත්ම සාධාරණ වන්නනේ නැත.

එම නිසා මිනිස්වර්ගයාගේ ආධ්‍යාත්මය හා යහගුණාංග වර්ධනය කරන දේවස්ථාන වලට එරෙහි පහරදීම් හෙලා දැකිය යුතුය. මෙවැනි අධම ක්‍රියාවල නිරතවන්නේ කිසිම ආගමක් නිසි ලෙස තේරුම් ගත් අය නොවෙති. ඔවුන්ගේ ඉලක්කය යහපත් එකක් විය නොහැක. ආත්මාර්නකාමයෙන් වියරුවැටී ආගමික කොටස් අතර ගැටුම් ඇතිකර තමන්ගේ පහත් අරමුණු ඉටුකරගැනිමට වෑයම් කරන තත්ත්වය අප තේරුම් ගත යුතුය. රටේ සංහිඳියාවේ හා සාමයේ පැවැත්මට සියළු ආගමිකයින්ගේ ආගමික නිදහස ආරක්ෂා විය යුතුය.

අවසාන වශයෙන්

එක් එක් ආගම පිළිපදින්නන් තමන්ගේ ආගමික ක්‍රියාකාරකම් නිසා සෙසු ආගමිකයින්නට හිරිහැර කරදර නොවීමට වග බලා ගත යුතුය.

සමාජයේ ඇතිවී තිබෙන දුර්මත ඉවත් කර සහජීවන වාතාවරණයක් ස්ථාපිත කිරීම කාලෝචිත ක්‍රියාවක් වේ. මේ සඳහා ආගමික නායකයන් අතර නිතර සාකච්ඡා පැවැත්වීම වැදගත්ය. බලයේ සිටින්නන් මේ සම්බන්ධයෙන් තමන්ගේ වගකීම නිසි ආකාරයෙන් ඉටුකිරීම වැදගත්ය. අවස්තානෝචිතව ක්‍රියා නොකිරීමෙන් අර්බුධ මතුවිය හැකිය.

විවිධ වර්ණවලින් යුත් මල්වලින් අලංකාරණය වූ උයනක් මෙන් විවිධ ජාතින්ගෙන් යුත් අපේ රට සංවර්ධන මාවතේ ඉදිරියට යාමට අප සියලුදෙනාගේම දායකත්වය ලබා දෙමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top