අෂ්-ෂෙයික් ෆලීල්
ජාමියා නලීමියා අධ්‍යාපන ආයතනය පිළිබඳ මෑත කාලීන විවේචන මුස්ලිම් සමාජය තුළ සිට හා පිටත සිට එල්ල වන බව අපි කවුරුත් දනිමු.
මේ අවස්ථාවේ දී ජාමියා නලීමියා අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය හැදෑරූ පුද්ගලයෙකු ලෙස හා එහි සේවය කරන පුද්ගලයෙකු ලෙස ද එම ආයතනය පිළිබඳව මගේ සිතුවිලි මෙහි ප්‍රකාශයට පත් කිරීම මාගේ සදාචාරාත්මක යුතුකම බව මා හිතනවා.
අල්හම්දුලිල්ලාහ්! අල්ලාහ්ගේ දයාවෙන්,1980 වර්ෂයේ ජාමියා නලීමියා අධ්‍යාපන ආයතනයට ප්‍රවේශ වීමට ලැබූ අවස්ථාව මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් බව සඳහන් කළ හැක. එම ආයතනයේ විෂයමාලාව තුළින් මිනිස් ජීවිතයේ අරමුණු හා වගකීම් පිළිබඳව ඉතා පැහැදිලි ප්‍රතිපත්තියක් හා ස්ථාවරයක් මට ලබා ගැනීමට හැකි විණි.
අද මා මෙවැනි තත්ත්වයකට පත් වීමට හේතුව පළමුව අල්ලාහ්ගේ දයාව දෙවනුව එම ආයතනය බවත් පැවසිය හැක.
අල්හම්දුලිල්ලා!
ජාමියා නලීමියා අධ්‍යාපන ආයතනයේ විෂයමාලාව, එහි උගන්වන කථිකාචාර්යවරුන් සහ එහි පුස්තකාලයේ කියවීමට ලැබූ පොත්පත් මගින් කිසිදු අන්තවාදයක් නොමැති මධ්‍යස්ථ ඉස්ලාමීය චින්තනය නිදහසේ අධ්‍යයනය කිරීම සඳහා මට අවස්ථාවක් ලැබිණි.කථිකාචාර්යවරුන්ගේ මාර්ගෝපදේශන හා මගපෙන්වීම් අපට දායක විය. මෙම ආයතනයේ ඇති සම්පත් සහ අවස්ථා හරහා අප තුළ ඇති සමහර කුසලතා සංවර්ධනය කර ගැනීමේ වරප්‍රසාදය අපට ලැබිණි.
මා ඇතුළු ආදි ශිෂ්‍යයන් සිය ගණනක් මෙයින් ප්‍රයෝජනය ලබා ඇතැයි නිසැකව කිව හැක. මෙරටේ පමණක් නොව විදේශයන්හි ද ඔවුන් අධ්‍යාපනික, ආගමික හා සමාජීය කටයුතු සිදු කරමින් සිටිති.
කෙසේ වෙතත්, මෙම ආයතනයේ උපාධිධාරීන් පරිපූර්ණ වූවන් නොවේ.අල්ලාහ් මිනිස් ජීවිතයේ පූර්ණත්වය ලබා දුන්නේ දේවදූතයන්හට පමණි. අපි හැකිතාක් සමාජය වෙනුවෙන් දායක වීමේ වරප්‍රසාදය ලබාගත්තේ එම ආයතනය හරහා ය.
මෙවැනි පසුබිමක, එම ආයතනය පිළිබඳව පදනම් විරහිත චෝදනා සමහර උදවිය විසින් එල්ලවීම කණගාටුදායක කරුණකි. එම ආයතනය මෙරටේ මුස්ලිම් ප්‍රජාවගේ අධ්‍යාපන සම්පතක් වන අතර ඉස්ලාමීය කලාවන් හි ද සමුද්‍රයක් වන අතර එය මෙරටේ මුස්ලිම් ප්‍රජාවට පමනක් නොමැතිව සෑම ප්‍රජාවකටම දායක වේ. ජාතිය ගොඩනැඟීමේ (Nation building) ක්‍රියාදාමයෙහි නලීමිවරු විශාල වශයෙන් දායක වෙති.
නලීමියා අධ්‍යාපන ආයනයේ චින්තන සම්ප්‍රදාය
නලීමියා අධ්‍යාපන ආයතනයේ විෂය මාලාව සම්බන්ධයෙන් ගත් කල, එහි බැරෑරුම් බවක් හෝ අන්තවාදී මතයක් නොමැත.
නලීමියා අධ්‍යාපන ආයතනයේ විෂය මාලාව හා ප්‍රතිපත්තිය විනිවිද භාවයෙන් යුතුවේ. එහි සැඟවුනු රහසක් නොමැත. එහිදී පර්යේෂණ හා අධ්‍යයන කටයුතුවලට වැදගත්කමක් ලබාදෙනු ඇත. එහි ඉස්ලාමීය ඉගැන්වීම් පුළුල් ලෙස උගන්වනු ලබන අතර මේ රටට වඩාත් ගැලපෙන ‘සුළුතර මුස්ලිම් ජීවන රටාව පිළිබඳ ඉස්ලාමීය මගපෙන්වීම්’ සහ ‘මධ්‍යස්ථ ඉස්ලාමීය චින්තනය’ ගැඹුරින් උගන්වනු ලැබේ.
නලීමියා අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය හැදෑරූ උපාධිධාරීන් කිහිපදෙනෙකුට අරාබි, ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂා ප්‍රවීණත්වයක් ඇත. එමෙන්ම සාම්ප්‍රදායික ඉස්ලාමීය කලාවන් (Classical) සමග නවීන (Modern) චින්තනය සහ ජාතික විෂය මාලාව ද හැදෑරීය. එපමණක් නොව, ඔවුන් දරන රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් තනතුරු හරහා ද ජාතිය ගොඩනැගීමේ (Nation building) ක්‍රියාදාමයෙහි ඔවුන් තමන්ට හැකි ආකාරයෙන් දායක වෙති.
ඔවුන් මේ රටේ නීති රීතීන්ට අගය කරන අතර සාමකාමී සහජීවනය සහ පරිත්‍යාගශීලිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ද සහෝදර ජනතාව විසින් බිහි කරන ලද ස්වේච්ඡා සමාජ සේවා සංගම් වලටද සම්බන්ධ වී සැලකිය යුතු දායකත්වයක් සපයති.
ලෞකික ජීවිතයේ යථාර්ථය
නලීමියා අධ්‍යාපන ආයතනයෙහි ඉගෙන ගන්නන් අතර දැඩි මතධාරී පුද්ගලයන් දැකගැනීමට නොහැක. එසේ සිටියද එය පිළිබඳව නලීමියා අධ්‍යාපන ආයතනයට දොස් පැවරීම සුදුසු වන්නේ නැත.
වරින් වර සිදුවූ සන්නද්ධ කැරැලිවලට විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන දෙමළ හා සිංහල සිසුන් කිහිප දෙනෙකු සම්බන්ධ වීමට ඔවුන් අධ්‍යාපනය හදාරන විශ්වවිද්‍යාලවල විෂයමාලාව කෙරෙහි විවේචනය නොකරන්නෙමු.
ගෝලීයකරණයට ලක් වූ වත්මත් ලෝකයේ තරුණ තරුණියන් නූතන සමාජ මාධ්‍ය (Soial-Media) භාවිතයෙන් ත්‍රස්තවාදී මතවාදයට පමණක් නොව මත්ද්‍රව්‍යවලට ද ඇබ්බැහි වෙති. සමහර අය කාමුක වලවල ගිලිහී ඇත. මෙවැනි සිසු සිසුවියන්ටද මගපෙන්විය යුතුය.
එහෙත්, සෑම ජන කොට්ඨාශයකම, උත්සාහයන් සහ නියාමනයන් අසාර්ථක වෙමින් සමාජයෙන් ඈත් වී නොමග යන්නන් සිටිති. මෙය ලෝකයේ යථාර්ථයයි. නබිතුමාණන් හට ‘වහී’ හෙවත් දේව හස්න පහළ වන කාලය තුළ නබිතුමාණන්ගේ සභාවට නිතර පැමිණ ගිය කිහිප දෙනෙකු කුහකයන් (මුනාෆික්වරුන්) වන්නා බව අපි කවුරුත් දැන සිටිමු. අබ්දුල්ලාහ් ඉබ්නු උබෛයි ඉබ්න් සුලූල්, මුනාෆික්වරුන්ගේ නායකයා වශයෙන්ම දෙවිඳුන්ගේ ශාපයට ගොදුරු වී මිය ගියේ නැද්ද? මෙවැන්නන් නොමග වී ජීවත්වීමට මුහම්මද් නබිතුමාගේ දේව දර්ශනය හෝ එය ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කළ ක්‍රමවේදය හේතු වූයේ නැත. ඒ සඳහා වගකිව යුත්තේ ද ඔවුන්මයි.
ශ්‍රී ලංකාවේ සියලුම ඉස්ලාමීය සංවිධානවල ව්‍යතිරේකයකින් තොරව එවැන්නන් සිටිය හැක. මතභේද ඇතිවීම හේතුවෙන් දේව විශ්වාසයන්හි දෘෂ්ටිවාදාත්මකව නොමඟ ගිය ප්‍රතිපත්තිවල අනුගමනය කරන අන්තවාදී ප්‍රතිපත්තිවලට ගොදුරු වන්නන් ද සිටිති. එවිට හුදෙක් ඔවුන් ඉගෙනගත්තු මද්‍රසා හෝ සංවිධාන වෙත ඇඟිල්ල දිගු කිරීම යහපතක් නොවේ.
සියලුම ආගම් හා දෘෂ්ටිවාද පිලිබඳව අධ්‍යයනය කරන ලෙස ජාමියා සිය සිසුන්ගෙන් ඉල්ලා සිටී. ඒ හා සමානව, මුස්ලිම් ප්‍රජාවේ චින්තන අංශ පිළිබඳව දැනුවත් වී සිටීමටද නිදහසේ අවස්ථා ලබා දී තිබේ.
ජාමියා විෂය මාලාව තුළින් නලීමිවරුන්ට අකීදා (විශ්වාසයන්), ෆික්හ් (ජීවන රටාව පිළිබඳ මගපෙන්වීම්) සහ දඃවා (ඉගැන්වීම) වැනි විවිධ කොටස් සහ රටාවන් පිළිබඳව දැනුවත් වී සිටී. නමුත් ඒවා කථිකාචාර්යවරුන් විසින් විධිමත් කරනු ලැබේ.
ඉමාම්වරුන් වන අබුල් හසන් අෂ්ෂාදුලී, ගස්සාලි, අබ්දුල් කාදීර් ජීලානි, ඉබ්න් තයිමියියා, මුහම්මද් බින් අබ්දුල් වහාබ්, කාර්ලාවි, සෛයියිද් කුත්බ්, මව්දූදි වැනි අයගේ පොත්පත් පමණක් නොව ඉස්ලාමයේ නොමග ගිය අයගේ පොත්පත් ද ජාමියා පුස්තකාලයේ තිබේ. මහාත්මා ගාන්ධි, කාල්මාක්ස්, වල්ලුවර් වැනි අයගේ පොත්පත් සමග චාන්ඩිල්යන්, වරධරාසන්, කන්නදාසන් යන අයගේ කාව්‍ය පොත්පත් ද පුස්තකාලයේ ඇත.
මහත්මා ගාන්ධි මහතා මෙසේ පැවසීය:-
“මගේ නිවස හැම පැත්තකින්ම තාප්ප බැඳ ජනේල වසා තිබීමට මම කැමැති වන්නේ නැත. මගේ නිවස හැකි තරම් නිදහසේ තැබීමට මම කැමැත්තෙමි. විවිධ ප්‍රදේශවල සාංස්කෘතීන් මාගේ නිවස වෙත නිදහසේ ප්‍රවේශ වීමට මම කැමැත්තෙමි. මම අන් අයගේ නිවෙස්වල මැදිහත්කරුවෙකු හෝ හිඟන්නෙකු හෝ වහලෙකු ලෙස ජීවත් වීම ප්‍රතික්ෂේප කරමි.”
ඒ අනුව, සිසුන්ට නිදහස් චින්තනය ලබා දිය යුතුයි යන්න නාලිමියා ආයතනයේ ස්ථාවරය වේ.
උසස් තනතුරුවල නලීමිවරු
නලීමිවරුන් උසස් තනතුරුවලට පත්වීම පිළිබඳව සමහර අය ආයාචනා කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණයි.නලීමිවරුන් මේ තනතුරු සඳහා මේ රටේ තරඟ විභාගවලට පෙනී සිට ඇත. අල්ලාහ් ඔවුන්ට ලබා දී ඇති අධ්‍යාපන සුදුසුකම් හා හැකියාවන් නිසා ද අල්ලාහ්ගේ දයාව ඔවුන්ට ලැබී ඇති අතර ඔවුන් මෙය සඳහා වෙනත් ක්‍රමවේදයන් භාවිතා කළ නොමැති බව ඉතා පැහැදිලි කරුණකි. ඔවුන් එම තනතුරු අවභාවිතා කර ඇති නම් එය පිළිබඳව හඬ නැගිය යුතු යි. එය සෑම පුරවැසියෙකුගේම යුතුකම වේ.
නලීමිවරුන් තමන් සතු තනතුරු අවභාවිතා කරන බව ගතහොත්,අල්ලස් හා දූෂණයට රට තල්ලු කිරීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ වී සිටිති. ඇත්ත වශයෙන්ම, රටට ආදරය කරන්නන් ඒවා ද සොයාබලා විවේචනය කළ යුතුයි!
නලීමිවරුන් SLAS, SLOS, SLEAS වැනි විභාගවල සමත් වී අමාත්‍යංශවල, රජයේ කේන්ද්‍රස්ථානවල උසස් තනතුරු දරයි. පරිපාලන තනතුරුවල, දෙපාර්තමේන්තුවල, අධ්‍යාපන සේවාවල, විශ්ව විද්‍යාලවල කථිකාචාර්යවරු ලෙස, පාසල්වල විදුහල්පතිවරුන් ලෙස, ගුරුවරුන් ලෙස, ප්‍රාදේශීය ලේකම්වරුන් ලෙස, අධ්‍යක්ෂවරුන් ලෙස, විනිසුරුවන් ලෙස, නීතිඤවරුන් ලෙස වැනි විවිධ උසස් තනතුරු වල සේවය කරති.
ඉස්ලාමීය දෘෂ්ටිකෝණයට අනුව ‘ෆර්ලු කිෆායා’ හෙවත් සමාජ වගකීම් පිළිබඳ තනතුරු මේවාය. මුස්ලිම් සමාජයේ සෑම සාමාජිකයෙකුම මේ පිළිබඳව ආඩම්බර විය යුතුය. එවැනි පුද්ගලයින් එවැනි තනතුරු දරන විට, ඔවුන් සහභාගී වන්නේ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට මිස රාජද්‍රෝහී ක්‍රියාවන්ට නොවේ.
ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් කථන, ලිඛිත සහ විශේෂඥ උපදෙස් මගින් ඉස්ලාමීය දඃවා අංශයටද දායක වෙති. ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය හා අරාබි විෂයයන් සඳහා පෙළපොත් ලිවීමේදී ඔවුන්ගේ කාර්යභාරය වැදගත් වේ.
අල්හම්දු ලිල්ලාහ්. සෑම දෙයක්ම ලැබෙන්නේ අල්ලාහ්ගේ කරුණාවෙන් මිස මිනිසුන්ගේ උත්සාහයෙන් නොවන බව විශ්වාස කිරීම අපගේ යුතුකමයි.
එවැනි පුද්ගලයින් බිහි කළ ජාමියා නලීමියා අධ්‍යාපන ආයතනය මේ රටේ බුද්ධිමය සම්පතක් වන අතර විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවගේ බුද්ධිමය සම්පතක් වන්නා බැවින් එය ශක්තිමත් කළ යුතු අතර ඊර්ෂ්‍යා නොකළ යුතුය. යම්කිසි දෝෂ තිබේ නම් එය හෘදයංගව පෙන්වා දිය යුතු අතර එය පාවා නොදිය යුතුය.
එම ආයතනය පවත්වාගෙන යන්නන් ද මිනිසුන් වන්නා බැවින් අඩුලුහුඬුකම් තිබිය හැක. එවැනි වැරදි සහ අඩුලුහුඬුකම් තාර්කිකව හා සන්සුන්ව පෙන්වා දිය යුතුයි. ලෝක ශිෂ්ඨාචාරයේ අනුපිළිවෙල ද එයයි.
අල්ලාහ් සිතුවිලි දැන සිටින්නෙකි.
එක සත්‍යයක් කඩිනමින් සඳහන් කළ යුතුය
“ඔබ හෝ මම ඕනෑම දෙයකට විරුද්ධ වූවත්, සහයෝගය දැක්වූවත්, අප එසේ කළ යුත්තේ කොන්දේසි දෙකක් සපුරා ඇත්නම් පමණි :
- ගැටලුව පිළිබඳව අපට පූර්ණ දැනුමක් තිබිය යුතුය.
- ඔබ එම විරෝධතාවය හෝ සහයෝගය දැක්විය යුත්තේ අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තු වෙමින් පමණි.
කීර්තිය, මුදල්, තනතුරු හෝ පෞද්ගලික කෝපයන් මුල්කරගෙන යමෙකු එවැනි ක්‍රියාවක නිරත වන්නේ නම්, අල්ලාහ් ඔවුන්ව ලෝකයට හෙළි කරනු ඇති අතර පරලොවදී ද ඔවුනට දෙන දඬුවම කඩිනම් වනු ඇත.
එබැවින් මෙම මූලික කරුණු පිළිබඳව ඉගෙන ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉස්ලාමයට එරෙහිව විශාලතම දෘෂ්ටිවාදාත්මක ආක්‍රමණයක් ලොව පුරා සිදුවෙමින් පවතී. එය සන්නද්ධ ගැටුමට වඩා භයානක වේ.
එබැවින්, මේ අසීරු කාල පරිච්ඡේදයේදී, අප සියලු දෙනා එකමුතුවෙන් අත්වැල් බැඳගෙන එකිනෙකාගේ වැරදි නිවැරදි කර ගන්නා විට, අල්ලාහ්ගේ කරුණාව නියත වශයෙන්ම අප කෙරෙහි පහළ වනු ඇත.




